උඩරට ගිවිසුම (1815)
උඩරට ගිවිසුම
දැන්වීම් පත්‍රය
ක්‍රිස්තු වර්ෂයෙන් වර්ෂ එක්වාදහස් අටසිය පහළොහක් වු මාර්තු මස දෙවැනි දින නොහොත් සිංහළ වර්ෂ ප්‍රමාණයෙන් ශක වර්ෂ එක්වාදහස් හත්සිය තිස් හයට පැමිණි අවුරැද්දේ නවම් මස අවසතවක් නම් තිථිය ලත් ගුරු දින සෙංඛඩ ශෛලාභිධාන පුරවරයෙහි මාළිගා අභ්‍යන්තරයට එක්වු සම්මුතියෙහිදී මහත් බ්‍රිතාන් අයර්ලන්ත යන එකඟ වු රාජ්‍යයෙහි රාජ්‍යශ්‍රීයට පැමිණි තුන්වෙනි ජෝර්ජ් මහාරජෝත්තමයානන් වහන්සේගේද රාජ්‍යය කරන්නාවු ජෝර්ජි වෙල්සෙහි කුමාරයින්ගෙද වෙනුවෙන් ඉංග්‍රීසි ස්තානවල පළමුවැනි ආණ්ඩුකාර තානාන්තරයට පත් වු ලොයිතන් ජනරාල් රොබොට් බ්‍රවුන්රිග් ගරැතර ගොවැර්නදොරු තුමාණන් වහන්සෙ එන පක්ශයකට ද සිංහලෙ වැසියන් වෙනුවට අධිකාරන්වරු සහ සිංහලෙ රටවල්වලද දිසාවල්වලට ද දිසාපතිවරු ඇතුළුව වෙනත් ප්‍රධාන රදළවරු මෙහි එක්වු මොහොට්ටාලාල කොරාලලා සහ අනිකුත් සුළු මුලාදෑනි ඇතුළුව සෙනාවද අභිමුඛයෙහිදී එක පක්ශයකට වී මෙසෙ ගිවිස්වා නියෝග කරන්නට යෙදුනාය.
එකෙසෙද යත්:-
විභාගයක් නොකර සමහර සංධි වලදී පැමිණිල්ලක්වත් නැතුව නොහොත් වැරැද්දක්වත් කෙරීමට ඉඩ පස්ථාවක් පමණවත් නොලැබුනු කාරණා වලදී පවා නියමයක් නැතිව හිතුවක්කාර වශයෙන්ද අනදරයෙන්ද ශරීර වද සහ මරණ වේදනද පමුණු වීමෙන් නඩුවට මහත් ලෙසින් නින්දිත කොට කඩ කරන්නට යෙදීමෙන් දෙමළ රජ්ජුරුවන්ගේ ක්‍රෑරකම් හා බලත්කාරකම් ද ඉවසා ගත නොහැකි තරමි ඉතා මහත්ව විශාලවෙන්ද යෙදුනා සහ මෙම රජ්ජුරුවන්ගෙ රට වාසින්ගෙ ගැලවිල්ලට කාරණා වු යුතුකමද ස්වමීප රටවල්වලින් ගන්ඩ පුළුවන්ව තිබුණු ප්‍රයෝජනවත් වු ගණුදෙනු කෙරීමද ලබාගන්ඩ පුළුවන් වීමට කාරණා වු විශ්වාසය ද මෙම රජ්ජුරුවන්ගේ ආඥාවේ ක්‍රියාවල සහ ගුණයෙහිද මුළුමනෙන්ම තිබුණේ නැත-
2. ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො රජ දරුවන්ගෙ ප්‍රධාන තවද මහත් සීලාචාර වු යුතුකම් කඩකරන ස්වභාවිකින ඒ තරඟයට ඇත්තාවු සියළුම අයිතිකම්ද ඊට වැදගත් බලයද නැති කර රාජඟයෙන් බැහැර කරන්ඩ යෙදුනාය. එම ගොත්‍රයද මවුපිය දෙපක්ෂයෙන් පැවත එන නොහොත් අවාහ විවාහනයෙන් පැවැත එන අනෙක ප්‍රකාර වු නැදෑයින්ද හැම කල්ම සිංහාසනයෙන් දුරු කරන්ඩ යෙනා සහ සිංහලෙ ආන්ඩු කිරීමට දෙමල වර්ගයට ඇත්තාවු සියළුම අයිතිකම් නැතිකරන්ඩද විනාස කරන්ඩද යෙදුනු වග මෙයින් එලිදරවු කරනුයැ-
3. ශ්‍රී වික්‍රම රාජසිංහ හිටපු රජ්ජුරුවන්ඩ අවාහ විහාවයෙන් නොහොත් එ පෙලපතින් එක්සේම එක්කො අවසෙස ප්‍රකාර නෑකම් ඇති නොහොත් වංකවු ප්‍රයෝගයෙන් නෑකම් ඇත කියන සෑම පුර්ෂ යින්ම සිංහ රටෙ ආඥාවට සතුරු වු බව මෙයින් එලිදරවු කරන්ඩ යෙදුනා පමණක් නොව කොයි කාරනාවක් පිනිසවත් ඉන්ග්‍රීසි ගොවැර්නමේන්තුවේ බලෙ ඇති ඔප්පුවක් නැතිව ඒ රටට ඇතුල් වෙන්ඩ බැරිය. එසෙ ඇතුල් වෙන්ඩ යෙදුනෙ වී නම් යුද්ධ වේලාවල්වලදී පවතින නඩු මාර්ගයෙ අච්චුවලට යටත් වෙන්ඩ ඕනෑය. එසෙ හෙයින් ඒ නඩු මාර්ගය මේ පිනිස නියෝග කරන්ඩවත් යෙදුනාය. දැනට මෙම රටින් බැහැර කරන්ඩ යෙදුනාවු සෑම දෙමල පුර්ෂෙයො ඉහල කී ප්‍රකාරාවසරයක් නැතිව එහි දෙවනු නොයන ලෙස වරක් කී අච්චු කරණ කොට ගෙන තහනම් කරන්ඩ යෙදෙනුයැ.
4. යුත්‍ර ප්‍රකාශ ඉන්ග්‍රීසි ගොවැර්නමේන්තුවේ බලයක් පිට පත් කරන අධිකාරන්වරුන්ට දිසාපතිවරැන්ඩද මොහොට්ටාල්ලාටද කෝරල්ලාටද විදානවර සහ අනිකුත් සෑම රදලවරුන්ට සහ සුළු මුලාදෑනින්ඩද ඔවු නොවුනගේ තානාන්තර වල නියමවල්ද යුතුකම්ද බලෙද නානාප්‍රකාර වැසියන්ද ඔවු නොවුන්ගෙ දේපල වලටද වෙනත් ඔවු නොවුන්ගෙ යුතුකම්වලඩ සහ නිදස්කම් වලටද ඔවු නොවුන් අතරෙ නොකඩව පවතිනා පුරාණ සිරිත් චාලිත්‍ර නඩු ප්‍රකාර ආරක්ෂා ඇතිව සිංහල රටවල් වල ආණ්ඩුව ඉන්ග්‍රීසි රාජ්‍යයෙ මහ රාජොත්තමයානන් වහන්සේට යටත් වෙන්ඩ යෙදෙනා සහ එහි ආඥාව ලංකාවට පැමිණි ගොවැර්නදෝරු නොහොත් ලොයිතන්ත් ගොවැර්නදෝරු උතුමානන් වහන්සේලා විසින් ද උන්නාන්සේල වෙනුවෙන් පත් වෙන්නාවු ඒජන්ට් යන මුලාදෑනි විසින් ද පවත් වන්ඩ යෙදෙනවා ඇතැ.
5. මෙකි රටව්ල්වල මුලාදෑනි සහ වැසියන් විසිනුත් අදහන්නා වු බුද්ධ ශාසනයද දෙවාගමද කඩකල නොහැකිව පවත්වන්ඩ ඕනෑවා සහ එකී කටයුතුද සංඝයාද ව්හාදර ස්ථාන දෙවාලද පවත්වන්ඩ සහ ආරක්ෂා කරන්නඩත් ඕනෑයැ.
6. ගාත්‍රාව සන්ධි ස්ථාන අවයවයන් කැපීමෙන් කරන නානා ප්‍රකාර වු ශරීර වද වේදානා නැති කරන්ඩ සහ තහනම් කරන්ඩ යෙදුනායැ.
7. මරණ අච්චු නියෝගයක් ඉෂ්ට කිරීම ඒ කාරණාවෙ වග රට මැද සිටින්නා වු ආණ්ඩුවෙන් තැබී හිටින ඒජන්ට් යන නම් ඇති නිලමක්කාර තැන නොහොත් නිලමකාරයින් විසින් ඔප්පු කර ඉන්ග්‍රීසිවු ගොවැර්නදොරු එක්කො ලොයිතන්ත් ගොවැර්නදොරු උතුමානන් වහන්සෙ කෙනෙකුගෙ බලෙ ලත් ඔප්පුවයක් පිට මිස වෙන හැටියකින් බැරිය මෙසේ බර පතල කාරණා ඒජන්ට වර අභිමුඛයෙහි විභාග කරන්නඩ ඕනෑය.
8. මෙකී දේට යටත්ව සිංහලෙ රටවල වැසියන්ගෙ සිවිල් ඒ නම් ගම් බිම් දෙපලනය ගැන කියනා නඩුද ක්‍රිමිනෙල් ඒ නම් මිනීමැරුම් සොරකම් ආදී නඩුද යන මේ නඩු පනත් සහ රටේ ආණ්ඩුවද නියමව තිබෙන ක්‍රම වලට සහ බැව හාරව තිබෙන ප්‍රකාර බලෙ ලත් රදලවරැ විසින් පවත්වන්ඩ ඕනෑය. එහෙත් සෑම කාරණා වලදී වෙන් වශයෙන් සහ විසාල වශයෙන් ද සිද්ධ වෙන අනදර වලට පිහිට වීමටද ව යුතු වෙනස් කෙරීමට ද මැදහත් වෙන්ඩ ඕනෑ සන්ධිවලදී ආණ්ඩුවෙ නියත වු යුතුකමට යටත්ව තිබෙන්ඩ ඕනෑය.
9. සිහලෙ වැසියො නොවන මෙරටවල් වල හිටින නොහොත් මෙහි එන්ඩ යෙදෙන සිවිල මිලීසියේ සෑම අයෙගෙම සිවිල සහ ක්‍රිමිනෙල නඩු ඇසීම ඇන්ගලන්තෙ මහරාජොත්තමයානන් වහන්සෙගෙ ආඥාවෙත් වෙනසක් වෙනතුරු මෙසෙ පවත්වන්ඩ යෙදෙය. එක් කෙසෙද යත් හේවා පන්නක්කාරයින්ගෙ ක්‍රමයට යටත්වු හේවාපන්නක්කාර මුලාදෑනි සහ හේවාපන්නක්කාරයද හේවා හමුදාව කැටුව එන්න වුන් ද ඇර අනිකුත් සෑම දෙනාම මිනී මරැම් කාරණාවල් ඇර වෙන සෑම කාරණා වලදී ම ඉන්ග්‍රීසි ගොවැර්නමේන්තුවෙ ඒජන්ට් යන නිලමක්කාර තැන් නොහොත් නිලමක්කාරයින්ගෙ නඩුවට යටත්ය. එහෙත් මිනීමැරුම් කාරණාවකදී ගරුතර ගොවැර්නදෝරු උතුමානන් වහන්සෙ විසින් කලින් කලට නියම කරන කුමතෙරුවරු විසින් විභාග කරන්ඩ යෙදෙනවා ඇත. එසෙවී නමුත් සෑම වෙලාහිම ඉන්ග්‍රීසි දේසක්කාරයින් විසින් අන්‍ය දෙසවලදී කරන්ඩ යෙදෙන වැරදි විභාගයට නියම වී පවතින මහත් බ්‍රිතාන් අයර්ලන්ඩ් යන එකඟවු රාජ්‍යයේ නඩු මාර්ගයෙන් විනිස්චය කළ හැකි වු ඉන්ග්‍රීසි දේසක්කාරයෙක් මිනී මැරීමේ නඩුවකදී විත්තිකාරයෙක්ව හිටියෙ වී නම් එකඟවු මෙම රාජ්‍යයේ ඒ නඩු මාර්ගයෙන් විනා සිංහලෙ කරන්ඩ යෙදුනාය කියන මිනී මැරීමේ නඩුවකදී ඉන්ග්‍රීසි දෙසක්කාරයෙක් වෙන ප්‍රකාරයකින් විනිස්චය කරන්ඩ යෙදෙන්න නැත. දෙවනුත් හේවාපන්නක්කාර ක්‍රමයට යටත් වු හේවාපන්නක්කාර මුලාදෑනි සහ හේවාපන්නකාරයොද හෙවා හමුදාව කැටුව යන වුන්ද ඔවුන් විත්තිකාරයින්ව සිටි සෑම සිවිල ක්‍රිමිනෙල් නඩුවලදීම යුද්ධයේ නඩු මාර්ගයට සහ චාලිත්‍රයේ ප්‍රකාරයට යටත්ව හිටින්ඩ ඕනෑය. එහෙත් මෙම වගන්තියේ බාල කරන කොට ගෙන විභාග වෙන මේ නමවෙනි වගන්තියට වැදගත් සිවිල් කාරණා සහ මිලීසියේ කාරණාද යන සෑම කාරණා වලදීත් නඩු ඇහීමට වැදගත් සෑම ලිවුම් බැලීමට ද මේ වගන්තිය කාරණා සම්පුර්ණ වශයෙන් සිද්ධ වීම පිනිස ඕනෑ වෙන වෙනත් කාරණා පඟාර්ත්තු කර තබන්ඩද ගරුතර ගොවැනර්දෝරු උතුමානන් වහන්සේට බලෙ තිබෙනවාය.
10. හේවා හමුදාව එන ගමනෙත් ස්වල්ප කාලයකට ප්‍රසිද්ධ කලා වු නම් දැන්වීම් පත්‍රයක අනාඥාවල කරණ කොට ගෙන ඉහල වගන්ති වල කාරණා වැලකෙන්ඩ යෙදෙන්නෙ නැතුවත් ඇර ඉහල වගන්ති වලට එකඟ නොවන මේ සෑම අනාඥාවල්ම අවලංගු කරන්ඩ යෙදුනාය.
11. සිහලෙ රටවල් වල රාජනියමවල්ද ආදායමද මහරාජෝත්තමයානන් වහන්සෙගෙ වැඩට සහ මේ රටෙ ආඥාව වර්ධනය වීමටද යුතු වු සිරිත් ප්‍රකාර ගොවැර්නමේන්තුව වෙනුවෙන් තැබෙන ඒජන්ට් යන නිලමක්කාර තැනගේ යටතේ එක්කාසු කරන්ඩ යෙදෙනවා ඇත.
12. මේ රටවල්වල වෙලහෙලදාම් වර්ධනය වෙන පිණිස මෙහි උපදින දෙ වෙලදාම් පිණිස ගෙනයාම පාසු වෙන හැටියටද මුදල් රෙදි ලුනු නොහොත් සිහලෙ වැසියො වැඩි කැමති ඇති වෙන බඩු ඒ පිනිස ගෙන ඒම පාසු කරන ලෙසද එතකලට පඟාර්තුවක් කර මහරාජොත්තමයානන් වහන්සෙගෙ වෙනුවට රාජ්‍යයෙ වර්ධන කරණ කුමාරයින් විසින් ඒ පඟාර්තුව ඒත්තු ගන්නා ලෙස ගරුතර ගොවැර්නදෝරු උතුමානන් වහන්සෙ විසින් ඉල්ලා අරින්නඩත් යෙදෙනවා ඇත.
දෙවියන් වහන්සෙ විසිං රජ්ජුරුවන් වහන්සෙ ආරක්ෂා කෙරෙත්වා
අත්සන් කෙළේ
රොබර්ට් බ්‍රවුන්රිග් ඇහැලේපොල පළමුවැනි අදිකාරම් සහ සත්කෝරලේ දිසාව මොල්ලිගොඩ දෙවැනි අධිකාරම් සහ සපරගමුවෙ දිසාව පිළිමතලාව්වේ හතර කෝරලේ දිසාව පිළිමතලව්වේ ඌවේ දිසාව මොනරවිල මාතලේ දිසාව රත්වත්තේ තුන් කෝරලේ දිසාව මොල්ලිගොඩ වලපනේ දිසාව දූල්ලෑවේ වෙල්ලස්සේ සහ බින්තැන්නේ දිසාව මිල්ලව තමන්කඩ දිසාව ගලගම නුවර කලාවියේ දිසාව ගලගොඩ
ජේ.ඩොයිලි ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්ථක
මෙය සත්‍ය පිටපතකි. ජේම්ස් සදර්ලන්ඩ් සිංහලේ පලාත් බාර ලේකම්
ජේම්ස් සදර්ලන්ඩ් ආණ්ඩුවේ නියෝජ්‍ය ලේකම් ඉදිරිපිටදීය.
Text: Text typed by volunteers of Sinhala Wikisource; CC BY-SA 4.0; 71 legacy-font conversion errors repaired by potha.org, 1815 spelling kept. The proclamation itself (1815) is public domain. (source) CC BY-SA 4.0. Spotted a typing error? Report a problem with this book